විදේශ රැකියා සඳහා ගොස් සිටින කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින්, සේවය කරන ස්ථානයේ බලෙන් රඳවාගෙන සිටින ස්ථාන සොයා ඔවුන් මුදවාගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්රමසූරිය මහතා ප්රකාශ කළේය.
ඇතැම් සේවිකාවන්, විදේශ රැකියාවලට ගොස් තමන් මුලින් ගිය නිවසින් පැනගොස් වෙනත් නිවාසවලට යෑම නිසා මෙම ගැටලුව උග්රවී තිබෙන බව ඔහු සඳහන් කළේය. එම නිසා ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට කාර්යාංශයට නොහැකි වී ඇති බව ඔහු පවසා සිටියේය. ඇතැම් කාන්තාවන් වසර ගණනාවක් වැටුප් නොලබා නිවාසවල රඳවාගෙන සිටින බවත්, එවැනි අවස්ථා කිහිපයක් අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානවලින් මුදවාගැනීමට හැකි වූ බවත් හෙතෙම පැවසීය.
සෞදියේ රියාද්හි නිවසක වසර 6 ක් පමණ වැටුප් ලබානොදී බලෙන් රඳවාගෙන සිටි කින්නියා ප්රදේශයේ පදිංචි වකර්ඩීන් තස්නා උම්මා මෙනෙවිය දිවයිනට රැගෙන ඒමෙන් පසු ඇයට හිමි රුපියල් ලක්ෂ 15 කට අධික හිඟවැටුප් සහිත චෙක්පත ලබාදෙමින් අද (22) ඒ මහතා මෙම අදහස් පළකළේය