රුපියල් 20ක් සොරාගත්තේ යැයි කෝපයට පත්ව 08 හැවිරිදි දරුවෙකු හැන්දක් රත්කර පුළුස්සා ඇති බවට චෝදනා ලැබූ එම දරුවාගේ නැන්දනිය අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය පවසයි.
ඊයේ සවස 6.00 ට පමණ අඟුරුවාතොට පොලිස් වසමේ ඈගල්හේන ප්රදේශයේදී මෙසේ වයස අවුරුදු 08ක දරුවෙකු පුළුස්සා ඇති බවට ළමා රක්ෂණ අධිකාරියෙන් ලද තොරතුරක් මත අඟුරුවාතොට පොලීසිය විමර්ශන අරඹා තිබුණි.
පසුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම දරුවාගේ අත් දෙකම හැන්දක් රත්කර පුළුස්සා ඇති බව අනාවරණය වීමෙන් පසුව, එම දරුවා, දරුවාගේ මව භාරයේ හොරණ රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව වයස අවුරුදු 38ක් වන දරුවාගේ නැන්දා වන අතර, ඇය අද (27දා) අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම දරුවා නැන්දනියගේ නිවසින් රු.20/- ක මුදලක් සොරකම් කිරීම හා මාළු ටැංකියෙන් මාළුවෙකු සොරෙන් ගෙන යාම නිසා මෙම කෘර දඬුවම අදාළ නැන්දනිය විසින් ලබාදී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.