බ්රසීලයේදී ඇරඹීමට නියමිත රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළ අවස්ථාවේදී ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
බ්රසීලයේ ප්රාන්ත නවයක් පුරා දියත් කෙරුණු 'හාෂ්ටැග්' යන නමින් හැඳින්වුණු විශේෂ මෙහෙයුමකින් මෙම ත්රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, මෙසේ අත්අඩංගුවට පත්වූ සියලුදෙනා බ්රසීල ජාතිකයන් බවත් එරට රජය කියයි.
ක්රීඩා උලෙළේ විවිධ තරග ඉසව් පැවැත්වෙන අවස්ථාවලදී මෙම ප්රහාර දියත් කිරීමට මෙම ත්රස්තයන් සැලසුම් කර ඇති බව හෙළිවී ඇත්තේ ඔවුන් විසින් භාවිත කළ විවිධ දත්ත හා දුරකථන සංවාද විශේෂ නිරීක්ෂණයන්ට ලක්කිරීමෙන් පසුවය. එහිදී, ඔවුන් ආයුධ එකතු කිරීම හා ප්රහාරය සඳහා ගරිල්ලා උපක්රම භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට පත්වූ සියලු දෙනා මෑතකදී ඉස්ලාම් දහම වැළඳගත්තවුන් බවත්, ඔවුන් මුලින්ම අන්තර්ජාලය තුළින් ජිහාඩ් සම්බන්ධ තොරතුරු එක්රැස් කර පසුව, විවිධ සමාජජාල තුළින් අන්තවාදීන් සමග සබඳතා පවත්වා ඇති බවත් අනාවරණය වී තිබේ.
එහිදී, ඔවුන්ගේ දත්ත හා සංවාද නිරීක්ෂණය කිරීමේදී මෑතකදී ඔර්ලැන්ඩෝ රාත්රී සමාජශාලාවේ සිදුවූ ත්රස්ත ප්රහාරය මෙන්ම, නීස් හි බැස්ටයිල් දින ත්රස්ත ප්රහාරයද මහත් ඉහළින් සමරා ඇති බවද අනාවරණය වී තිබේ.