රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 5000 ක උත්සව අත්තිකාරම් මුදල දෙගුණයක් කිරීමට බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පොරොන්දු වූ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
භාණ්ඩවල සහ රෙදිවල පවතින මිල සැලකිල්ලට ගනිමින් මෙතෙක් උත්සව අත්තිකාරම් මුදල ලෙස ලබාදෙන රුපියල් පන්දහසක මුදල රුපියල් දසදහසක් බවට පත්කර ලබාදෙන ලෙසට තම වෘත්තීය සමිතිය ඉල්ලීමක් කළ බවද එම සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එම ඉල්ලීමට අනුව මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලේ සිට, රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබාදෙන බවට ඇමතිවරයා සඳහන් කළ බවත්, ඒ පිළිබඳ නිර්දේශ මහා භාණ්ඩාගාරයට ලබාදෙන බවට පොරොන්දු වූ බවත් ඔහු පවසා සිටියේය.
රාජ්‍ය සේවකයාට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල සමාන වාරික 10කින් නැවත අය කරගන්නා බවද හෙතෙම කියා සිටියේය.