ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය නිලධාරීන් 43 දෙනෙකු රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට රනුග්ගේ වාර්තාව මගින් තහවුරුකර තිබියදීත් රාජ්‍ය පරිලපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එම දූෂිත නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.
හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ පාලන සමයේදී මෙම කමිටුව පත් කළ බවත්, අදාළ වාර්තාව පසුගිය ජූනි මාසයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට බාර දී තිබෙන බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
අදාළ වාර්තාව මගින් අමාත්‍යාංශ ලේකම්වරුන් 09 දෙනෙකු, දිස්ත්‍රික් ලේකම්වරුන් 05 දෙනෙකු ඇතුළුව රාජ්‍ය නිලධාරීන් 43 දෙනෙකු රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට පෙන්වා දී තිබෙන බවට වාර්තා වන බවද පවසා සිටියේය.
මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළ යුතුව තිබුණේ වාර්තාව ලැබීමෙන් පසු අදාළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වාර්තා කිරීම බවද සඳහන් කළේය. එහෙත් වාර්තාව ලැබී වසරකට අධික කාලයක් ගතවී තිබුණත් අදාළ වාර්තාව ලේකම්වරයා විසින් සඟවා තබාගෙන සිටින බවත්, මේ නිසා දූෂිත නිලධාරීන් තවදුරටත් රාජ්‍ය සේවයේ යෙදෙමින් රටට නරක ආදර්ශ ලබාදෙමින් සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.