පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජ්‍ය ආයතන හයක සිදුවූ බව කියන බරපතළ වංචා සහ දූෂණ සිද්ධි පිළිබඳ පරීක්ෂණවලට බාධා විය හැකි යැයි පවසා එම රාජ්‍ය ආයතන හයේ සේවය කරන ඉහළ නිලධාරීන් 13 දෙනෙකු එම ආයතනවලින් වහාම ඉවත් කරන්නැයි බරපතළ වංචා සහ දූෂණ විමර්ශන කොමිසම එම රාජ්‍ය ආයතනවලට නියම කර ඇතැයි වාර්තා වේ.
අධිකරණ අමාත්‍යාංශය, පොල් පරීක්ෂණ ආයතනය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළෙඳ සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ස්වාධීන රූපවාහිනී සේවය යන ආයතනවලට කොමිසම විසින් එලෙස නියම කර ඇතැයි පැවසේ.
අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකද, පොල් පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුද, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාද, සමුපාකාර තොග වෙළෙඳ සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙකුද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ රාජකාරි කරන මහියංගණය ප්‍රාදේශීය ලේකම්වරයාද, ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් තිදෙනෙකුද එම ආයතනවලින් වහාම ඉවත් කරන ලෙස මෙසේ නියම කොට ඇතැයි වාර්තා වේ.
මෙම නිලධාරීන් මෙම ආයතනවල තවදුරටත් රාජකාරි කිරීම එම ආයතන සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බාධාවක් බවත්, මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්නේ එම ආයතනවලම සේවකයන් නිසා ඔවුන්ට බලපෑම් ඇති විය හැකි බවත් පෙන්වා දෙන කොමිසම ඊට පිළියමක් ලෙස මෙම පරීක්ෂණ අවසන් වන තුරු තාවකාලිකව එම නිලධාරීන් ආයතනවලින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇතැයිද සඳහන් වේ.