සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
බහින්බස් වීමකින් ඇරඹී යැයි පැවසෙන එම සිද්ධියේදී අතින් පයින් තල්ලු කරගැනීමක්ද සිදුව ඇති අතර, පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.
ගැටුම සමථයකට පත්ව ඇත්තේ කුමාර වෙල්ගම, අනුර කුමාර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ මැදිහත් වීමෙන් බවද පැවසෙයි.
ඊයේ පස්වරු 1.00 ට පාර්ලිමේන්තු සභා කටයුතු ආරම්භ වූ අතර, පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කථානායක කාර්යාලයත්, මන්ත්‍රීවරුන් සභාවට පිවිසෙන දොරටුවත් අතර ඇති ලොබියේදී පස්වරු 3.00 ට පමණ මෙම ගැටුම හටගෙන තිබේ.
ලොබියේදී රන්ජන් රාමනායක මහතා දුටු සැණින් 'ඔයා තමයි සේරම කුණු අදින්නේ' යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත. එවිට රන්ජන් රාමනායක මහතා 'ඔයාගේ නෝනා තමයි ඒ ඔක්කොම කුණු මට දෙන්නේ' යැයි පවසා තිබේ.
'බයිස්කෝප් කට් මෙතන බැහැ' යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා ඇති අතර, 'ඒ වගේම මට ගහගන්නත් පුළුවන්' යැයි රාමනායක අමාත්‍යවරයා ඊට පිළිතුරු දී ඇත. වචන හුවමාරුවක් ලෙසින් ඇරඹි සිද්ධිය ගුටිබැට හුවමාරුවක් දක්වා එලෙස දුරදිග ගොස් තිබේ.
මේ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් අප පසුව කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ 'ඔව් අපි අතර බහින්බස් වීමක් වුණා. දෙන්නට දෙන්නා තල්ලු කරගත්තා. ගහගන්න ගියා' යනුවෙනි.
කෙසේ වුවත් සිද්ධිය සිදු වූ අවස්ථාවේ සිටි අනුර කුමාර දිසානායක මහතා සහ රංජිත් සොයිසා යන මන්ත්‍රීවරුන්ගෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි. තමන්ගේ මැදිහත්වීමෙන් එය සමථ වූ බවද ඔවුහු පවසා සිටියහ.