රථවාහන වැරදි 05ක් සම්බන්ධයෙන් ඉහළ දැමීමට යෝජනා කළ දඩමුදල ලබන සතියේ සිට අයකරන බවට ප්රකාශ නිකුත් කළද, අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වනතෙක් එය ක්රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දඩ මුදල් ඉහළ දැමීමේ නීතිය ලබන සතියේ සිට ක්රියාත්මක කරන බවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්රකාශ නිකුත් කර තිබෙන බවත්, අදාළ දඩමුදල් අයකිරීමට නම් ඒ සඳහා අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පසු තම සංගමය යෝජනා 09ක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම යෝජනා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු හරහා සිදුකරන බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව ජනතාවගේ යහපත සඳහා බස් රථ තුළ සිඟමන් යැදීම, වෙළෙඳාම් කිරීම තහනම් කරන යෝජනා දෙකක්, ස්ථානීය දඩ 05ක් අයකරගැනීම පිළිබඳ පවතින ගැටලු 05 ක් විසඳා ගැනීමට යෝජනා 05ක්, අධිකරණයට යවා දඬුවම් සඳහා ඉදිරිපත් කරන අපරික්ෂාකාරී ලෙස රියපැදවීම හා අන්තරායකාරී ලෙස රියපැදවීම යන වගන්ති දෙක නිර්වචනය කරන ලෙසට ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන බවද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.