ඕනෑම රටකින් ආයෝජන ගෙන ඒමේ වරදක් නැති බවත් ආයෝජන ගෙන ඒම යනු මව්බිමේ සම්පත් විකිණීම නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. තම ආණ්ඩු කාලයේ දී සිදු කළේ සම්පත් විකිණීම නොව විදේශ ආධාර ගෙන රට ගොඩනැගීම බවද ඒ මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (22දා) කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේ දී පුවත්පත් කර්තෘවරුන් හමුවේ සිය අදහස් පළ කරමිනි.
"විදේශ ආයෝජන එන එකේ වරදක් නැහැ. එහෙත් විදේශයන්ට මව්බිමේ සම්පත් විකිණීම සහ ආයෝජනයට අවස්ථාව දීම කියන්නේ දෙකක්. අපි කළේ විදේශ ආධාර ඇතිව රට ගොඩනගන එකයි. ඉන්දියාවට ත්‍රිකුණාමලයෙන් දෙන්න යනවා, හම්බන්තොටින් චීනයට දෙන්න යනවා, ජපානයට අක්කර දාහක් දෙන්න යනවා එළවඵ වවන්න. මේක දෙන්නේ 99 අවුරුදු බදු කිව්වට 99 ක් තිබුණාම හොඳටම ඇති. එතැනින් පස්සේ ආයෙ ගන්නද?" යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
තම රජය සමයේ චීනයට ලබා දීමට සැලසුම් කළේ හෙක්ටයාර් 180 ක පමණ ප්‍ර දේශයක් පමණක් බවද එයද එකම ප්‍ර දේශයක නොව ස්ථාන තුනකින් ලැබෙන ආකාරයට සැලසුම් කළ බවත් එම භූමිය චීනය සතු නොවන ආකාරයට සැලසුම් සකස් කර තිබූ බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවක තමන් දැනුවත් කළ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
"හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, රෝහල, සම්මන්ත්රණ ශාලාව ඇතුළු සියල්ල අපි හැදුවේ සැලසුමක් ඇතිව. වාර්තා අරන් බලන්න. හම්බන්තොට වරාය ලාබ ලබමින් තිබුණේ. ඒත් දැන් මේක පෙන්වන්නේ අපරාධයක් විදියට. දැන් මේක අපරාධයක් කියලා කොච්චර දැන්වීම් දානවද? මම දන්නේ නෑ ඒ ආයතන මේවා නොමිලේ දානවද කියලා. එහෙම නැත්නම් අති විශාල මුදලක් මේවට වැය වෙනවා. ගහන්නේ මට. හම්බන්තොට වරාය අද ඉල්ලලා තියනව සියයට අසූවක කොටස් ඩොලර් බිලියන 1.5 කට. මම වියදම් කරපු ගාන වගේ තුන්ගුණයක් මෙයාලට හම්බවෙලානෙ. මෙයාලා හැමදාම කියන්නේ මම හින්දා ගත්ත ණය බේරනව කියලා.
එහෙනම් දැන් ණය අඩු වෙන්න ඕනි. ඒත් එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ එක්කෝ මෙයාලට ගණිතය බෑ නැත්නම් බොරුවක් කරනවා. මේ ආණ්ඩුවට කළමනාකරණයක් බෑ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි විකුණගෙන කන එක. අපේ පක්ෂයේ අයත් ගිහින් ඒකට එකතු වුණාම කරන්න දෙයක් නෑ" නව ව්‍යවස්ථාව සම්පාදනය ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
"අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කළාට ආණ්ඩුවේ තීරණයක් නෑ මේකේ රාමුව මොකක්ද කියලා. මොන විදියේ රාජ්‍ය ක්රමයක්ද කියලා අපි දන්නේ නෑ. ඒකීය රාජ්‍යයක් කියලා කිව්වට මම නම් දන්නේ නෑ එයාලා දන්වද කියලා මොනවද කරන්නේ කියලා. එක්කෝ එයාලා හොඳටම දන්නවා කරන්න යන දේ. සියල්ල තීරණය කරලා අපි එක්ක සාකච්ඡා කරනවා කියලා බොරු කරනවා. අපිව පාවිච්චි කරන්නයි හදන්නේ මේ ව්‍යවස්ථාව හැදුවේ අපෙනුත් අහලා කියලා. " යැයි පැවසීය.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ පළාත් සභා මැතිවරණය නිසි කලට නොපැවැත්වෙනු ඇති බවයි. එසේම අලුතින් ඇති කළ පොලිස් ඒකකය තවත් FCIDයක් බවද ඔහු පැවසුවේය.
" මේ අය දන්නවා නව ව්‍යවස්ථාව ජාතිය පාවා දෙන ව්‍යවස්ථාවක් බව. ඒ සම්බන්ධයෙන් කතා කරන අය බය කරලා මේකට විරුද්ධව නැගී සිටින සියලු දෙනාම මර්දනය කරන බවට සංඥාවක් මේ දෙන්නේ. අනෙක තමයි මේ අය කොච්චර කිව්වත් අපේ රටට එන ආයෝජකයෝ කියන්නේ මේ රට ස්ථාවර නෑ කියලයි. බොහෝ ආයෝජකයෝ මාව හමුවෙනවා. මම කියන්නෙත් ආයෝජනය කරන්න කියලයි. ඒත් ඔවුන් බයයි. මම එදා කිව්වෙත් ආයෝජනය කරන්න ඒත් ඉඩම් ගන්නවා වගේ වැඩ කරන්න එපා කියලයි. එහෙම කළොත් අපට ආයෙ ගන්න වෙයි කියලයි මම කිව්වේ. ආයෝජනය එකක් විකිණීම එකක්."
එසේම නව රථවාහන දඩ පිළිබඳව සහ ජාතීන් අතර ඇති නොසන්සුන්තාව පිළිබඳවද ඔහු අදහස් දැක්වීය. "සමහරුන්ට රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය අමතක වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මේ වගේ දඩයක් ගැසීම වැරදියි. ත්‍රිරෝද රථ රියදුරෙක් අතින් වැරැද්දක් වුණොත් ඒ මාසෙම ඉවර වෙනවා. රටක ආදායම් මට්ටම අනුව තමයි දඩ ගහන්න ඕන. මේ වගේ දඩ සාමාන්‍ය මනුස්සයෙකුට ගෙවාගන්න බැරි ඒවා. එතකොට ඒ අයව බන්ධනාගාරගත කරනවා. ඒ වගේ අය නඩත්තු කරන එක ආණ්ඩුවට තවත් පාඩුවක්. අපේ කාලයේ මේ ප්රශ්නය හදපු අයමයි දැනුත් එක්ක කරන්නෙ. අපේ ආණ්ඩුව වට්ටන්න ජාතිවාදය අවුලපු අය දැන් ආණ්ඩුව රැක ගන්න ජාතිවාදය අවුලවන්න හදනවා." යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.