2015 වසරේ බලයට පැමිණි යහපාලන රජය විසින් ලබාදුන් ඛනිජ තෙල් සහනය සාමාන්‍ය ජනතාව මෙන්ම 10%ක් පමණ වන රටෙහි පොහොසතුන්ද භුක්ති විඳි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඊයේ (10දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරිණි.
"මෑතකදී සිදුකළ ගෘහස්ථ ආදායම් සහ ගෘහස්ථ පරිභෝජන වියදම් පිළිබඳ සමීක්ෂණයක් හරහා මේ ඉන්ධන සහනාධාරයේ ප්රතිලාභ 10%ක් පමණ වන රටේ අතිශය පොහොසතුන් ප්‍රමාණයකුත් භුක්ති විඳ තිබෙන බව අනාවරණය කරගෙන තිබෙනවා" යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙලෙස බැලූ විට පසුගිය කාලසීමාව තුළදී සමස්ත ආසියානු කලාපයෙන්ම අඩුම මිලට ඉන්ධන ලබාදෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
එසේම තවදුරටත් මෙලෙස අඩු මිලට ඉන්ධන ලබාදීම මගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් පාඩු සිදුවන බවත්, එහි වර්තමාන අලාභය රුපියල් බිලියන 11.3ක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
"2015 ජනවාරි මාසයේදී පෙට්‍රල් මිල ඔක්ටේන් 92 වර්ගයේ මිල රුපියල් 157 සිට රුපියල් 117දක්වාත්, ඔක්ටේන් 95 සඳහා මිල රුපියල් 158 සිට රුපියල් 128 දක්වාත්, ඔටෝ ඩීසල් සඳහා රුපියල් 111 සිට 95 දක්වාත්, සුපර් ඩීසල් සඳහා මිල රුපියල් 133 සිට 110 දක්වාත් ලෙස අඩු කළා. ඒ වගේම භූමිතෙල් මිල 106 සිට 44 දක්වා අඩු කෙරුණා. ඒ විදියට බලනකොට කලාපයේ ඉන්ධන සඳහා සහනාධාර වැඩියෙන්ම ලබාදෙන රට බවට ශ්‍රී ලංකාව පත් වුණා."
එහිදී මෙරට තුළ ඔක්ටේන් 92 පැට්රල් ලීටරය රුපියල් 117ට විකිණෙද්දී නේපාලයේ එය රුපියල් 149ක්, බංග්ලාදේශයේ රුපියල් 159ක් සහ ඉන්දියාවේ රුපියල් 169ක් වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 95ට විකුණද්දී නේපාලයේ එය රුපියල් 114ටත්, බංග්ලාදේශයේ 120ටත්, ඉන්දියාවේ 142ටත් විකිණුනු බවද මෙහිදී අනාවරණය කෙරිණි.
"මේ මුදලට ඉන්ධන ලබාදීම හරහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන තත්ත්වයට පත් කිරීමට අපට බැහැ. ඒ වගේම එහි අලාභය වසන් කිරීම සඳහා තවදුරටත් මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයට නොහැකි බව අපි තේරුම්ගත්තා" යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.