රජයට හා අගමැතිවරයාට එරෙහිව පවතින විශ්වාසභංග ගෙන ඒමට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මෙම විශ්වාසභංග යෝජනාව වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට හෙට (03දා) රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී මුල්ම යෝජනාව ලෙස එය ඉදිරිපත් කරන බවද ඔහු පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකයට, බැංකුවලට සහ සංවර්ධනයට විශාල බාධාවක් සිදුවන ආකාරයට කටයුතු කරන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබෙන සිවිල් පුද්ගලයන් තිදෙනාගේ නම් අනුමත කරගැනීමට බවත්, එවැනි කටයුතුවලට ආණ්ඩුව උනන්දු වුවද, රටේ සංවර්ධනයට කිසිදු උනන්දුවක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ආණ්ඩුවට සහ අගමැතිවරයාට එරෙහිව මේ මස 09 වැනිදා විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවත්, ඊට පෙර රවී කරුණානයක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එය විවාදයට ගන්නා ලෙසට පාර්ලිමේන්තුවෙන් හෙට (03) ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.