ජනතාව මත බදු පිට බදු පටවා අයවැයක් ඉදිරිපත් කර ඇති මෙම රජය මවු කිරිවලටත් බදු ගසනු ඇතැයි මහනුවර දිස්ත්‍රික් (එජනිස) පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. අලවතුගොඩ ප්‍රදේශයේදී ඊයේ (13දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, " වත්මන් රජය ඉදිරිපත් කරල තියෙන අයවැයත් එක්ක දින සියයේ අයවැය සසඳා බලන ලෙස අපි ඉල්ලනවා. ඒ දින සියයේ අයවැයේ දුන් නමුත් ඉටු නොවූ පොරොන්දු කොපමණ තිබෙනවාද?
මේ අයවැයෙන් ජනතාව තලා පෙලා බදු පිට බදු පටවා ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. අද වන විට අම්ම කෙනෙකුට තම දරුවාට මවු කිරි ටිකක් දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මුදල් අමාත්‍යවරයා දැක්කොත් ඒකටත් බදු ගහනවා නියතයි" යැයිද පවසා සිටියේය.
මහනුවර මොහොමඩ් ආශික්