විදෙස් සංක්‍රමණිකයන් දුම්රිය ඔස්සේ යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වීම වළක්වමින් හංගේරියාව ගත් තීරණයට විරෝධය පා දෙවැනි දිනටත් බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ දෙදහසක පමණ පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූහ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි මෙම පිරිස බුඩාපෙස්ට් හි කෙලෙටි දුම්රිය ස්ථානයේ කඳවුරු බැඳ සිටිති. තමන් හංගේරියාවෙන් ඔබ්බට යුරෝපයට ඇතුළු වීම සඳහා ප්‍රවේශපත් මිලදීගෙන තිබියදීත් තම ගමන වැළැක්වීම ගැන ඔවුහු බලධාරීන්ට දොස් පවරති.
මේ අතර, තවත් සංක්‍රමණිකන් 4,000ක් පමණ ග්‍රීසය වෙත පැමිණ සිටි බවද විදෙස් වාර්තා පවසයි.
යුරේපා සංගමය සිය සාමාජික රාජ්‍යයන් හි දුම්රිය ස්ථානවලින් සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීම සඳහා පියවර ගැනීමත් සමග මෙම උද්ඝෝෂණ ඇරඹී තිබේ.
කෙසේ වෙතත්, මෙසේ රැඳී සිටින පිරිස් පවසන්නේ තමන්ට ජර්මනිය වෙත යෑමට අවසර ලබාදෙන ලෙසයි. ෂෙන්ගන් හෙවත් නිදහසේ ගමන් කළ හැකි යුරෝපා කලාපය තුළ ඔවුන්ට ජර්මනියට ඇතුළු වීමට දැනටමත් අවසර ඇති බව උද්ඝෝෂකයෝ කියති.
තමන්, සිරියාවේදී දැඩි භීෂණයකට ලක්ව අසීරු ගමනක් පැමිණ ඇති බවත්, දැන් දුම්රිය ස්ථානයක කොටුවී ආහාර, නින්ද හෝ කිසිවක් නැතිව තවත් අසරණව සිටින බවත් ඔවුහු පවසති.
මෙම සංක්‍රමණික ප්රශ්නය වර්තමානයේදී යුරෝපය මුහුණදෙන දරුණුතම අර්බුදයක් බවට පත්ව ඇත. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්ද මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින්, යුරෝපයේ අනාගතය අඳුරු වීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව පවසා ඇත.
IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයත්, රටේ පවතින සිවිල් අරගලයත් හේතුවෙන් සිරියාව මේ වනවිට ලෝකය තුළ දැවැන්ත සරණාගත ප්‍රශ්නයක් බිහිකර ඇති බව නොරහසකි.
මෙසේ පැමිණි පිරිස් අතර ඇෆ්ගනිස්තානය, ඉරාකය ආදී වශයෙන් වර්තමානයේ අර්බුදයන්ට ලක්ව ඇති රාජ්‍යයන්ගේ සංක්‍රමණිකයන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.