යාපනය අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් විසින් 1998 වසරේදී සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයෙදී ඊයේ(11දා) නඩුවකට පෙනී සිටි යුද හමුදා සෙබළුන් 14 දෙනෙකු ලබන 21 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය දිසා විනිසුරු එස්.සදීස්කරන් මහතා නියෝග කළේය.
1998 වසරේදී අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් යුදහමුදා පොලීසිය විසින් අච්චුවේලි පොලීසියේ දමා තිබූ පැමිණිල්ලකට අනුව එහි වාර්තාවක් අච්චුවේලි පොලීසිය විසින් නීතිපතිවරයාට යොමුකිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් අච්චුවේලි පොලීසියට උපදෙස් දී ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්රහයේ 296 වගන්තියට අනුව නඩු පවරන ලෙසටය.
පසුව අච්චුවේලි පොලීසිය විසින් ඒ බව යාපනය දිසා අධිකරණයට දැනුම් දීමෙන් පසුව අච්චුවේලී යුද හමුදා කඳවුරේ එවකට සිටි සෙබළුන් 16 දෙනෙකුට නොතීසි නිකුත් කරමින් පසුගිය 26 වැනිදා යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති අතර,පසුගිය 26 වැනිදා අදාළ යුද හමුදා සෙබළුන් 16 දෙනාගෙන් 05 දෙනෙකු පෙනී සිට අතර, ඔවුන් 5 දෙනාද 11 වැනිදා දක්වා බන්ධනාගාරගත කළ අතර, සෙසු සෙබළුන් 11 දෙනාටද 11 වැනිදා යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට වරෙන්තු නිකුත් කළේය.
කෙසේ වෙතත් අදාළසෙබළුන් 11 දෙනාගෙන් සෙබළුන් දෙදෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති හෙයින් සෙසු සෙබළුන් 09 දෙනා හා අනෙකුත් සෙබළුන් 5 දෙනාද 11දා යාපනය දිසා අධිකරණයේ පෙනී සිටිඅතර,ඔවුන් 14 දෙනාමමෙසේ 21 වැනිදා දක්වා බන්ධනාගාර ගත කෙරිණි.