දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල මේ දිනවල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. යාපනය අර්ධද්වීපයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග මෙම තත්ත්වය උදා වී තිබේ.
මෙම දිනවල යාපනය අර්ධද්වීපයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු පැටවූ ලොරි රථ තිහක් තිස්පහක් අතර ප්‍රමාණයක් දිනපතා ලැබෙමින් පවතී.
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවලින් ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතී.
මෙම තත්ත්වය මත ඇතැම් එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇති බව දඹුල්ල ආරථික මධ්‍යස්ථාන සේවකයෝ පවසති
යාපනය අර්ධද්විපයෙන් කැරට් ,ලීස් ,ගෝවා , අර්තාපල් අල, අමු මිරිස් ,බීට් , වට්ටක්කා ,මෑ කරල්, දෙහි, ලූනු මල්, රතු ලූනු, වැටකොළු, මාලු මිරිස්, වම්බටු ආදී එළවළු වර්ග රැසක් මේ දිනවල දඹුල්ල වෙළෙඳ පොළට ලැබෙමින් පවතී.
මෙම තත්ත්වය මත පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු සියල්ල තොග මිල මේ වන විට විශාල වශයෙන් පහත වැටී තිබීම විශේෂත්වයකි. වම්බටු ,බිට් , මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට 35 දක්වා වූ මිලකට අලෙවි වීම විශේෂත්වයකි.
තවද අමුමිරිස් ,ගෝවා, කැරට් ,කිලෝවක තොග මිල ද රුපියල් 25 සිට 40 දක්වා වූ මිලකට අලෙවි වන බව ව්‍යාපාරිකයෝ කියති. සමස්තයක් ලෙස සියලුම එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට රුපියල් 50 දක්වා වූ උපරිම මිලකට අලෙවි වීම විශේෂත්වයකි. යාපනය අර්ධද්වීපය ලැබෙන අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 40 සිට 45 දක්වා වූ මිලකට අලෙවි වන බව ද ඔවුහු පවසා සිටිති.
තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද රට පුරා එළවළු සිල්ලර මිලහි කිසිදු වෙනසක් මේ වන තෙක් නොමැති වීම විශේෂත්වයක් රුපියල් 40 ට කිලෝ එකක් පවතින අමුමිරිස් සිල්ලර වෙළෙඳ පොළේ රුපියල් 300 ක මිලකට අලෙවි කිරීම විශේෂත්වයකි .එමෙන්ම අනෙකුත් සෑම එළවළුවක්ම කිලෝවක සිල්ලර මිල රුපියල් 100 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.