වැඩ වර්ජනයේ නිරත යාපනය මහනගර සභා සුළු සේවකයන්ගේ ඉල්ලීම් මාස 3ක කාලයක් ඇතුළත ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවක් හේතුවෙන් දින 09ක් පැවති වැඩ වර්ජනය අවසන් කොට අද (16දා) සිට යාපනය නගරයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
වැඩ වර්ජනය හේතුවෙන් යාපනය නගරයේ කුණු කසළ ගොඩගැසීම හේතුවෙන් යාපනය නාගර සභාව විසින් පන්නෙයි ප්රාදේශීය සභාවේ සේවකයන් පිරිසක් යොදවා කැළි කසළ ඉවත් කිරීමට යාමේදී වැඩ වර්ජනයේ නිරත සේවකයන් හා පන්නෙයි ප්රාදේශීය සභාවේ සේවකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගත් අවස්ථාවේදී යාපනය මහනගර සභාවේ සුළු සේවකයෙකු එම ස්ථානයට පැමිණ පිටස්තර පුද්ගලයන් තමන්ගේ කාර්ය ඉටුකොට තම වර්ජනය පාවා දෙන්නේ නම් ඊට එරෙහිව තමන් ගිනි තබාගෙන මියයන බව පවසා ඔහු සිය සිරුරට භූමිතෙල් වත්කර ගත් අතර තවත් අයෙකු ඔහුගේ සිරුරට ගිනි තැබීමට සූදානම් විය. මේ අවස්ථාවේදී පන්නෙයි පළාතෙන් පැමිණි පිරිස කුණු කසළ ඉවත් නොකොට ආපසු යැවීමට පොලීසියටද මැදිහත්වීමට සිදුවිය.
මේ අතර වැඩවර්ජනයේ නිරත පිරිස ඊයේ (15දා) උදෑසන නගර සභාවේ නිලධාරීන්ට නගර සභාවේ කාර්යාලවලට ඇතුළුවීමට ඉඩනොදී ගේට්ටු අවහිර කළ අවස්ථාවේ පොලීසිය මැදිහත් වී පැය විසිහතරක් ඇතුළත බලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවීමෙන් පසුව වර්ජනයේ නිරත පිරිස එම ස්ථානයෙන් ඉවත්ව සුපුරුදු වැඩ වර්ජනයේ නිරත වූ ස්ථානයට ගියහ.