යුද්ධයේදී සටන් කර පූර්ණකාලීනව ආබාධිත තත්ත්වයට පත්ව රාගම රණවිරු සෙවණ, මිහිඳු සෙත් මැදුර හා අභිමංසල සුවසහන නිකේතනවල නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෝ ඊයේ (12දා) යාපනය ප්‍ර‘දේශයේ සංචාරයක් ආරම්භ කළහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම සංචාරයට රණවිරුවෝ 37 දෙනෙක් සහභාගී වූහ.
දින 03ක් පුරා සිදු කෙරෙන මෙම සංචාරයේදී නල්ලූර් කෝවිල, යාපනය කොටුව, දඹකොල පටුන, නාගදීප විහාරස්ථානය වැඳ පුදා ගැනීම, අලිමංකඩ රණවිරු ස්මාරකය නැරඹීමටත් නියමිතය. මේ අතර යාපනය නාග විහාරයේ පැවැත්වෙන බෝධි පූජාවකට සහභාගීවීමෙන් පසු සංචාරය නිමාවට පත් කිරීමට සැලසුම් යොදා තිබේ. මෙම රණවිරුවන් සමග වෛද්‍යවරයෙකු හෙද භෞත චිකිත්සක ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්ද සංචාරයට එක්වී සිටිති.