මොසැම්බික් රාජ්‍යයේදී ඉන්ධන පිරවූ බවුසරයක් පිපිරීම හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 110 දෙනෙකු තුවාල ලබා තිබේ.
මලාවි රාජ්‍යයේ දේශසීමා ආසන්න ටෙටේ පළාතේ, කැෆිරිඩ්සන්ගේ ගම්මානයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ඉන්ධන රථයට ගිනි ඇවිලීමත් සමග සිදුවූ පිපිරීම මහා ගිනි ජාලාවක් ලෙස පැතිරී ඇති අතර, අඟුරු බවට පත්වූ මිනිස් සිරුරු අවට විසිරී පැවති බවද කියැවෙයි. එමෙන්ම, පිළිස්සුම් තුවාල ලැබූ ඇතැම් පිරිස් අසල වූ ගංගාව වෙත දිව ගිය බවත් වාර්තා වෙයි.
ඉන්ධන රථය අනතුරට පත්වීමෙන් පසුව ඉන් බැහැරට විසිරී ගිය ඉන්ධන එකතු කිරීමට ජනතාව පොරකමින් සිටි අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී ඇති බව මොසැම්බික් රජය තහවුරු කර තිබේ.
මොසැම්බික් රජයට අනුව මෙම පිපිරීමෙන් ජීවිත 73ක් අහිමි වී ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මොසැම්බික් රජය මෑතකදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ අතර මේ නිසා ඉන්ධන එරට ජනතාවගේ සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.