ශ්‍රී ලංකාවට අවට සාගර කලාපයේ සිටින මෝර මත්ස්‍ය සම්පත රැකගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාව පළ කර ඇත.
ලෝකයේ මෝර මත්ස්‍ය සම්පතට අයත් වර්ග 500ක් පමණ සිටින අතර, විශේෂ 60කට අයත් මෝරු ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙති. මෙයින් වර්ග 12ක් පමණ ධීවරයන් විසින් බහුල වශයෙන් අල්ලාගනු ලබයි.
දැනට සිදු කර ඇති ගවේෂණ අනුව මෝරුන් යනු වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින මත්ස්‍ය විශේෂයක් වේ. මෝර වරල්, මෙන්ම තෙල් ද අපනයනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. අප රටේ මෝර මත්ස්‍ය නිෂ්පාදනය 1990දී මෙට්‍රික් ටොන් 8665ක් වුවත්, එය මේ වනවිට 2500ක් දක්වා අඩුවී ඇත.
එයට හේතුව මෝරුන් ඇල්ලීම සීමා කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයි. මේ වනවිට අපේ මෝර මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන ලෝකයේ රටවල් අතර ශ්‍රීලංකාව සිටිනුයේ 10 වන ස්ථානයේයි.
කෙසේ වුවද, මේ වනවිට අපේ ධීවරයන් විසින් භාවිත කරන ධීවර ක්‍රම අනුව අහඹු ලෙස හසුවන මෝරුන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිවීම නිසා ඔවුන් විසින් මුහුදට දමනු ලබයි. එම නිසා ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ උපදෙස් මත මෝර සම්පත රැක ගැනීම මෙන්ම, ධීවරයින්ගේ ජීවනෝනපාය සංවර්ධනයටද හේතුවන අයුරින් එම සම්පත කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.