ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා ඉවත්විය යුතු යැයි ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ල.නි.ප. මහජන නියෝජිත සමුළුවේදී ඒකමතිකව යෝජනාවක් සම්මත වී තිබේ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පෙරේදා (31දා) පැවැති මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 234 න් 178 දෙනෙකු සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.
අත්තනගල්ල ප්‍රා‘දේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර බුලත්සිංහල මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්කළ යුතු බවට යෝජනා කළ අවස්ථාවේ මිනුවන්ගොඩ නාගරික මන්ත්‍රී අතුල සේනානායක මහතා එය ස්ථිර කළේය.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සිසිර කුමාර බුලත්සිංහල මහතා සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වුවද ඔහුට පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ වුවමනාවක් නැති බැවින් නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සභාපති ධුරයට ගෙන ආ යුතු බවයි.ඉන්පසුව රැස්වීමට සහභාගී වූ සියලුදෙනා අත් ඔසවා එම යෝජනාවට එකඟතාව පළකළහ.
එසේම මහින්ද රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අවස්ථාව දිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ගම්පහ දිස්ත්‍රික් නායකත්වය ප්‍රසන්න රණතුංග මහතාට ලබාදිය යුතු බවටත් යෝජනාවක්ද මෙහිදී සම්මත කරගන්නා ලදී.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ගම් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.