(VIDEO) හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවිය ශ්රී ලංකා නිදහස් පක්ෂය අතැර යන විටත් සිය පියා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ජන සටන පාද යාත්රාව සිවුවැනි දිනයට නිට්ටඹුවෙන් ගමන් අරඹා හොරගොල්ල සමාධිය ඉදිරිපිටින් ගමන්ගන්නා විට ඔහු මේ බව පැවැසීය. හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පා ගමන් කරුවන් බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කරන විට එයට ගල් ගැසීමට ඉඩ ඇතැයිද ඒ අනුව සමාධියට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
පාද යාත්රාවට සහභාගීවූ පිරිස සමාධිය අසළින් ගමන් ගන්නා විට සටන් පාඨ කීමෙන් වැළකී සිටි අතරම කොඩි පහත දා හිස්වැසුම් ගලවා ගමන් කළේය.
තමා ඇතුළු පිරිස අදටත් රකින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රතිපත්ති බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති එක්සත් ජාතික පක්ෂයට පාවා දෙනේනේ නම් මෛත්රීපාල සිරිසේන ජනපතිවරයා කියූ පරිදි කකුලේ කරගැට එනකම් නොව ජීවිතේ නැති වෙනකම් හරි සටන් කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.