මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වයේ අපේක්ෂකයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ අපේක්ෂකයන්ගෙන් සහ අනුගාමිකයන්ගෙන් බාධා එල්ල වන බව වාර්තා වේ.
කොළඹ,මහනුවර,කළුතර,මාතර,ගාල්ල හා අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙම තත්ත්වය උග්‍ර වී ඇතැයි වාර්තවේ. මහින්ද පාර්ශ්වයේ අපේක්ෂකයන් විසින් මෛත්‍රී පාර්ශ්වයේ අපේක්ෂකයන්ට ඡන්දය නොදෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.
මෙහි දී රජයේ අමාත්‍ය ධුර පදවි හොබවන මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හිතවත් එහෙත් මැදහත්ව කටයුතු කළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙම සන්ධානයේ පිල් බෙදීමේ ගැටුමට මැදි වී දැඩි ලෙස අපහසුතාවට මුහුණ පා සිටින බව ද 'අද'ට වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා මල්ෂා කුමාරතුංග මහත්මිය 'අද' ට ප්‍රකාශ කළේ තමන්ගේ රැස්වීම් සංවිධානය කිරීම ඇතුළුව මැතිවරණයට අදාළ කටයුතුවලදී විවිධ තර්ජනයන්ට ලක්වීමට සිදුව තිබෙන බැවින් ඉතා අපහසුතාවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යන බවයි.
"මැතිවරණය කරගෙන යද්දි දිස්ත්‍රික්කයේ ඉන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් අපට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
මගේ රත්මලානේ තිබුණු රැස්වීමකදීත් මේ වගේ ප්‍රශ්න ඇතිවුණා. රැස්වීමට එන්න හිටිය මිනිස්සුන්ට තර්ජනය කරලා ආපසු හරවා යවා තිබුණා. ඒත් අපි වැඩ කරගෙන යනවා. රැස්වීම් සංවිධානය කරන ගෙවල්වලට ගිහින් කෑගහලා කියලා කියනවා, අපිව ඒ රැස්වීම්වලට ගෙන්වන්න එපා කියලා. ඒවා ඉහළින් එන බලපෑම්ද කියා දන්නෑ" යනුවෙන් ඒ මහත්මිය පවසා සිටියාය.