ආරක්ෂක හමුදා නිලධාරීන්ට සිවුරු අන්දවා ස්වාමීන් වහන්සේලා ලෙස පෙනීසිටීමට සලස්වමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ වෑයමක ආණ්ඩුව යෙදෙන බවට ආරක්ෂක අංශවලින් විශ්වාසදායී තොරතුරු ලැබී ඇතැයි ජාතික සංඝ සම්මේලනය සඳහන් කළේය.
එහි මහලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ, මෙම පිරිස යෙදවා කොළඹ අවට සහ යාපනය ප්‍ර‘දේශයේ පිහිටි ආගමික සිද්ධස්ථානවලට පහරදී එහි වගකීම මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන භික්ෂූන් වහන්සේලා පිට පැටවීමේ සැලසුමක් තිබෙන බවයි.
එසේම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මහජන රැස්වීම් පැවැත්වෙන ස්ථානවලට මෙම පිරිස් යවා කඩාකප්පල් ක්‍රියා සිදුකර එහි වාසිය ජනාධිපතිවරයා වෙත ලබාගැනීමට සැලසුම් කර තිබෙන බව උන්වහන්සේ පැවසීය.
ඉකුත්දා පොළොන්නරුව, කඳුරුවෙල ප්‍ර‘දේශයේදී භික්ෂූන් වහන්සේලාට පහරදීමටද පැමිණ තිබුණේ සිවුරු පෙරවාගත් ආරක්ෂ අංශ සාමාජිකයන් බවද උන්වහන්සේ පැවසූහ.
මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනය ආශ්‍රය කරගෙන භික්ෂූන් වහන්සේලාට එරෙහි මඩ චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙන බවද ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකරන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යන ස්වාමීන් වහන්සේලාට අපහාස වන අයුරින් මෙම මඩ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එය ප්‍රදර්ශනය කර බාල ප්‍රසිද්ධියක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවද උන්වහන්සේ පවසා සිටියහ.
මේ සම්බන්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් 'අද' කළ විමසීමකදී සඳහන් කළේ, හමුදා සෙබළුන්ගේ ප්‍රතිරූපයට හානිදෙන අයුරින් කිසිදු කාර්යයක ඔවුන් යොදවා නැති බවත්, ජාතික සංඝ සම්මේලනය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
හමුදා සෙබළුන් එවැනි කටයුතුවලට යොදාගෙන ඇත්නම් පොලීසිය වෙත පැමිණිලි කළහැකි බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, මේ දක්වා එවැන්නක් සිදුකර නොතිබීමෙන් මෙම ප්‍රකාශ පදනම් විරහිත ඒවා බවට පැහැදිලි වන බවද කියා සිටියේය.