මහ බැංකු බැඳුම්කර සිද්ධියේ වංචාවක් වී ඇති බව රජයක් ලෙස පිළිගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ අදහස් පළකළේ, තිස්සමහාරාම නැදිගම්විල විද්‍යාලයේ ඊයේ (29දා) පැවැති ජන හමුවකදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“එම වාර්තාව අපේ රජය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි කවුරු කොහොම ‘කිවුවත් මෙය හෙළිවුණේ යහපාලනය රජය නිසයි. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සම්බන්ධව කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙකුයි මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙ. එහෙත් පසුගිය කාලේ හිටපු නායකයා කෝප් කමිටුව සඳහා ඔහුගේ අතකොළු පත්කර එහිදී ලබාදුන් තීරණ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ.
එදා කෝප් සභාපතිවරයාගේ වගකීම වූයේ රජයේ අඩුපාඩු හංඟන එකයි. අපි අද නිර්පාක්ෂිකව මේ බැඳුම්කර වංචාව ජනතාව ඉදිරියට ගෙනාවා. වර්තමාන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නොසිටියානම් හඳුන්නෙත්තිලා කෝප් කමිටුවේ සභාපති වෙන්නෙ නැහැ. මේ හොරකම්, වංචා එළියට ආවේ යහපාලන රජය තිබුණු නිසයි. ඉතිහාසයේ කවදාවත් මෙවැනි විනිවිදභාවයකින් කටයුතු සිදුවුණේ නැහැ.
පසුගිය කාලේ රටේ අග්‍රවිනිශ්චයකාරිනිය දෝෂාභියෝගයක් ගෙනල්ලා අස්කරන්න කමිටු හදලා තමන්ගේ හෙන්චයියලා පත්කළා. අපිටත් තිබුණා අපේම අය කෝප් කමිටුවට දාලා අපිට ඕන දේවල් කරගෙන අපිටම සුදුහුණු ගා ගන්න. අපි රජයක් හැටියට වඩාත් විනිවිදභාවයකින් කටයුතු කරනවා.* යනුවෙන් පැවසීය.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක