ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති නූඩ්ල්ස් සාම්පල පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා අනුව එම ආහාර කාණ්ඩවල අඩංගු ඊයම් ප්‍රමාණය වෙනත් රටවල මෙවැනි ආහාරවල අඩංගුවිය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම කරුණු සම්බන්ධව විශේෂ ආහාර උපදේශන කමිටු රැස්වීම පැවැත්වුණේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන සම්බන්ධ කර ගනිමිනි.
මෙහිදී ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික නුඩ්ල්ස් වර්ග පිළිබඳවත්, ඒවායේ සම්භවය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ භාවිත කරන අමුද්‍රව්‍ය ආදිය පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකාවට ක්ෂණික නූඩ්ල්ස් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයනය නොකරන අතර, මොනෝ සෝඩියම් ග්ලුටමේට් නම් රසායන ද්‍රව්‍ය හැර අනෙකුත් සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන බවද මෙහිදී අනාවරණය කෙරිණ.
ලංකාවේ ක්ෂණික නුඩ්ල්ස්වල අඩංගු විය හැකි උපරිම ඊයම් ප්‍රමාණයක් සම්මත කර නොමැති අතර, වෙනත් රටවල් කිහිපයක මීට සමාන ආහාර සඳහා තිබිය හැකි උපරිම ඊයම් ප්‍රමාණය පහත පරිදිය.
ඉන්දියාව - 2.5 mg/kg (කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්)
මැලේසියාව - 2.0 mg/kg
සිංගප්පූරුව - 2.0 mg/kg
ඔස්ට්‍රේලියාව - 0.3 mg/kg
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ ඇති නූඩ්ල්ස් වලින් පරීක්ෂණ සඳහා යැවූ කිසිදු නියැදියක අවම අගය වූ 0.3 mg/kg ප්‍රමාණය ඉක්මවා ගිය අගයක් වාර්තා නොවිණි. එහෙත් පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන සියලුම ක්ෂණික නුඩ්ල්ස් වර්ගවලට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ආහාර උපදේශන කමිටුව තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම නූඩ්ල්ස් වර්ග රට තුළට ඇතුළුවීමට ප්‍රථම ඊයම්, රසදිය, ආසනික් හා කැඩ්මියම් යන බැරලෝහ පරීක්ෂාවට ලක්කිරීම.
වෙළෙඳ පොළේ පවතින සියලුම වර්ගවල ක්ෂණික නූඩ්ල්ස් කාණ්ඩවලින් සාම්පල් ලබාගෙන ඊයම් ප්‍රමාණය නිශ්චය කිරීම සඳහා අදාළ රසායනාගාර වෙත යොමුකරන ලෙස නිෂ්පාදකයන් වෙත දැනුම් දීම හා එය අධීක්ෂණයට දිවයින පුරා සිටින ආහාර පනත යටතේ පත්කර ඇති නිලධාරීන් වෙත විධාන කිරීම.
මේ අනුව විශ්ලේෂණ සඳහා රසායනාගාර වලට යොමු කරන සාම්පලවල ඊයම් ප්‍රමාණය 0.3 mg/kg ඉක්මවා පවතින බවට වාර්තා වන්නේ නම් වහාම එම කාණ්ඩවල ක්ෂණික නූඩ්ල්ස් වෙළෙඳ පොළින් ඉවත් කිරීමට කටයුතු කිරීම.
පවතින තත්ත්වය සමනය වනතුරු සියලුම නූඩ්ල්ස් වර්ග සදහා කරනු ලබන වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ නිෂ්පාදකයන්ට දැනුම් දීම හා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දැනුවත් කිරීම.