යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය සියයට 40ක වර්ධනයක් ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට ද හැකි වී තිබේ.
යුරෝපා සංගමය විසින් පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමග මුහුදු ආහාර සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය 2017 වසරේ ගත වූ මාස 06 තුළ සියයට 40ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු 25දා නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාවේ මෙය දැක්වෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
2016 වසරේ ජුනි මාසයේ දී මුහුදු ආහාර අපනයනයෙන් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12.9 ක් වන අතර 2017 ජුනි මාසය වන විට එය ඇමෙරිකන් ඩොලර් මිලියන 15.2 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වුව ද 2016 මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනය මගින් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 83.5ක් (රුපියල් මිලියන 12,612ක්) වන අතර, 2017 වසරේ මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 117.1ක් (රුපියල් මිලියන 17,784ක්) දක්වා ඉහළ ගොස් තිබේ.