සාමකාමී පාගමන්, විරෝධතා හේතුවෙන් මහජන පීඩා සිදුවන බවට පොලීසිය අධිකරණ නියෝග ලබාගන්නේ නම්, මාර්ග වසාගෙන හා මාර්ග අවහිර කරමින් ගමන් කරන දේශපාලඥයන්ට එරෙහිව මුලින්ම අධිකරණ නියෝග ගත යුතු බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය සඳහන් කරයි.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා ඊයේ (11දා) ශිෂ්‍යයන්, දෙමවුපියන්, වෘත්තීය සමිති එක්ව පැවැත්වූ පාගමනට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර, යකඩ පොලු ප්‍රහාර, බැටන් පොලු ප්‍රහාර හා ජලප්රහාර එල්ල කර අමානුෂිකත්වය ප්‍රදර්ශනය කළ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
කල් ඉකුත් වූ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හා පිරිස විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී අනුගමනය කළ අමානුෂික ක්‍රියා පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරියේදී පැමිණිලි කරන බවත්, ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකරමින් තිබෙන බවත් හෙතෙම අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.