තවමත් අධ්‍යයන මට්ටමේ පවතින මීගමු කලපුව හෑරීම සඳහා මේ වන තෙක් නිශ්චිත තීන්දුවකට එළඹ නැතත්, මීගමු කලපුව හාරන බව පවසා පසුගිය ජනාධිපතිවරණ සමයේදී උත්සවයක් පවත්වා ඇත්තේ මීගමු ධීවරයන්ගේ ඡන්ද වංචාවෙන් ලබාගැනීමට බව බරපතළ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී හෙළි වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා පැවැත්වුණු මෙම ප්රචාරක රැලියට වියදම් වූ රුපියල් ලක්ෂ 89 2/1 ක මුදල මීගමු කලපුව සංවර්ධනය කිරීම සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් වලින් ලබාගෙන ඇති බවත් 'මීගමු කලපුව සංවර්ධන ව්‍යාපෘතිය' යන සමරුඵලකය සඳහා රුපියල් ලක්ෂ 4ක් වියදම් කර ඇතත් රජයෙන් රුපියල් ලක්ෂ 18 1/2කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවත් එම කොමිෂන් සභාවේදී හෙළි වී ඇත.
ධීවර සංස්ථාවේ ගණකාධිකාරිණිය ඇතුළු ගිණුම් අංශයේ නිලධාරීන් රැකියා වලින් නෙරපන බවට ධීවර ඇමතිවරයා විසින් තර්ජනය කොට මුදල් ගෙවීමට ඔවුන් පොළඹවා ඇති බවද ජනාධිපති විමර්ශන සභාව තොරතුරු හෙළිකරගෙන ඇත.
බරපතළ මූල්‍ය වංචා, රාජ්‍ය බලය අනිසි ලෙස යෙදවීම සඳහා වූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි මගින් මෙම තොරතුරු හෙළි කරගෙන ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති) , විකුම් කළුආරච්චි, ආමේන්ද්‍ර සෙනෙවිරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් සමග විගණකාධිපතිවරයා මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
ධීවර අමාත්‍යංශයේ සිදුකළ මූල්‍ය වංචාවන් හෙළි කර ගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් සාක්ෂි කැඳවනු ලැබිණ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා මීගමුව නගර සභා පිටියේදී 2014 දෙසැම්බර් 30 වැනිදා පැවැත්වූ රැළිය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් රුපියල් 89,50,000/= ක් වැයකොට ඇත්තේ මීගමු කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් වලින් බවට ලැබී ඇති පැමිණිලි මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් විභාග කෙරේ.
ඊට අමතරව ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සමග %මහින්ද රාජපක්ෂ දිනවමු^ යන වැකිය සහිත ටී ෂර්ට් හා කැප් තොප්පි රජයේ මුදල් වැයකොට ඩිස්ප්ලේ මීඩියා ආයතනයෙන් ලබාගැනීම, දිනපොත් 2000ක් මුද්‍රණය කරවාගෙන ධීවර අමාත්‍යශයට ලබා නොදීම මෙන්ම මීගමු කලපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවට රුපියල් 18,40,000/= ක් වැයකොට සමරුඵලකයක් ඉදිකර එය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ අතින් 2015 ජනවාරි 05 වැනිදා විවෘත කිරීම යන සිද්ධීන් පිළිබඳව මෙම කොමිසම විසින් වැඩිදුරටත් විමර්ශනය කෙරේ.
මේ සම්බන්ධයෙන් පැවති සාක්ෂි විමසීමේදී මීගමු කලපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවට වූ සමරුඵලකය කළුගලෙන් නිර්මාණය කරන බව පවසා ඒ සඳහා රුපියල් 18,40,000/= ක මුදලක් ලබාගෙන ඇතත්, රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කර කොන්ක්‍රීට් වලින් නිපදවා ඇති බව අනාවරණය වී ඇත.
ප්රචාරක රැලියට හා එයට පැමිණි අයට කැප්, ටීෂර්ට් දීමට හා සමරුඵලකය සෑදීමට ධීවර අමාත්‍යංශයේ මුදල් යෙදවීම කළ නොහැකි බවට ගණකාධිකාරිණිය ඇතුළු ගිණුම් අංශයේ නිලධාරීන් දැනුම් දුන් විට හිටපු ධීවර ඇමතිවරයා, සාමාන්‍යාධීකාරීවරයා සහ ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ බලපෑම් තර්ජන නිසා මෙම මුදල් යෙදවීමට සිදු වූ බවත් එහි නිලධාරීන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හෙළිකොට ඇත.
මෙම වව්චර් වලට ගෙවීම අනුමත නොකළහොත් %හෙට සිට වැඩට එන්න එපා^ යනුවෙන් එහි නිලධාරීන්ට කළ තර්ජන හා බලපෑම් නිසා වව්චර් වලට අත්සන් කිරීමට සිදුවූ බව එම නිලධාරීන් කොමිසම හමුවේ හෙළිකොට ඇත.
මෙම ගෙවීම් කිරීම සඳහා ආණ්ඩුවේ වූ සම්පාදන ක්‍රියාවලිය කිසි ලෙසකින්වත් අනුමත කර නොමැති බවත්, අදාළ ගෙවීම් සියල්ලක්ම සිදුකළ පසු ප්‍රසම්පාදන රැස්වීමක් පවත්වා ගෙවීම් කිරීමට අනුමැතිය ලබාගෙන ඇති බවත් හෙළි කරගෙන ඇත.