හබරණ සිට පින්වල ප්‍රදේශයට ප්‍රතිකාර සඳහා ගෙන යමින් සිටියදී ප්‍රවාහනය කළ රථය අනතුරට පත්වීම නිසා මියගිය අලියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව තිරසාර සංවර්ධන හා වනජීවී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
අද (11දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"සිද්ධිය දැනගත් මොහොතේම පර්යේෂණ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැරියා. එම පර්යේෂණ කණ්ඩායම අද (11දා) අලුයම මියගිය හස්තියා සිටි ස්ථානයටපැමිණීමට ප්‍රථම පුද්ගලික හිමිකරුවන් විසින් හඟුරන්කෙත ප්‍රදේශයට ගෙන ගොස් තිබෙනවා.
මෙම අලියා ප්‍රතිකාර සඳහා පින්නවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යාමට පැමිණ ඇති අතර පින්නවල සත්ත්වෝද්‍යානයට ප්‍රතිකාර සඳහා රැගෙන විත් ඇති බව සමහර මාධ්‍ය වාර්තා කළත් සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිහ මහත්මිය විසින් එය ප්‍රතික්ෂේප කරන බව මා හට දන්වා තිබෙනවා.
වයස අවුරුදු 50 ක් පමණ වන මෙම “ කණ්ඩුල “ නම් හස්තියාගේ භාරකරු හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි ටී.ඊ බස්නායක නම් පුද්ගලයෙකු බවද මේ වනවිටඅනාවරණය වී තිබෙනවා.
ආරම්භයේ සිටම මෙම හස්තියා සෆාරි කටයුතු සඳහා යොදවා ඇති අතර එම නිසා හස්තියාගේ අභ්‍යන්තර ශරීරයේ පටක ඉදිමීමේ රෝගයක් මතුව තිබෙනවා. වසර 4 ක් පුරා මෙම රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති බව පශු වෛද්‍යවරු පවසා තිබෙනවා. සෆාරි සඳහා අලින් යොදා ගැනීම දැඩි ලෙස හිංසාකාරී තත්ත්වයක්. මේ ආකාරයෙන් සතුන් පීඩාවට ලක් කොට සිටිනවාට වඩා එම සතුන්ට නිදහසේ සැරි සරමින් නිදහසේ සිටීමට අවශ්‍ය පරිසරය උදා කිරීම අවශ්‍යයි. මේ නිසා සෆාරි සඳහා සතුන් යොදා ගැනීම සීමා කිරීමේ කාලය එළඹ තිබෙනවා." යැයිද පවසා සිටියේය.