ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද 'මින් විසිතුරු 2016' විසිතුරු මත්ස්‍ය, ජලජ ශාක හා උපාංග ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
අද (05දා) සිට අනිද්දා (07දා) දින දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර දේශීය විසිතුරු කර්මාන්තයේ අභියෝග, ඒවාට මුහුණදීම, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම, විදේශීය ආකර්ෂණය දිනාගැනීම මෙන්ම නව වෙළෙඳපොළ විවරකර ගැනීම සහ විදේශීය විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ මූලික අරමුණයි.
මෙවර ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 100කින් සමන්විත වන අතර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.