මැදපෙරදිග ගෘහ පාලිකාවන් සඳහා ලබාදෙන පෙර විගමනික පුහුණුව දින 21 සිට දින 40 දක්වා ඉහළ දැමූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය ගෘහ පාලිකා පුහුණුවේ ගුණාත්මක හා ප්රමාණාත්මකභාවය පිළිබඳව කරුණු සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව ප්‍රථම වරට මැදපෙරදිග ගෘහපාලිකා හෙවත් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන කාන්තාවන් මෙම දින 40 පුහුණුව අනිවාර්යෙන්ම ලබාගත යුතු අතර, ජාතික වෘත්තීය නිපුණතා සහතිකයද (NVQ) අනිවාර්යයෙන්ම අවශ්‍ය බවද කාර්යාංශය සඳහන් කරයි.
මැදපෙරදිග රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට දීර්ඝකාලීන අවබෝධයක් තිබෙන බවත්, මැදපෙරදිග රටවල් අපේක්ෂා කරන ගෘහ පාලිකාවන් සතුවිය යුතු පුහුණුව ඇතුළු දක්ෂතා පිළිබඳව අත්දැකීම් රැසක් තිබෙන බවත් එම නිවේදනයේ දැක්වේ. එසේම මැදපෙරදිග රටවල් රැකියා සඳහා අපේක්ෂිත ගුණාත්මක හා ප්රමාණාත්මකභාවයන් මෙරට ගෘහ සේවිකාවන් සතු, මැදපෙරදිග රටවල් බලාපොරොත්තුවන අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව අතර පුළුල් පරතරයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පරතරය අවම කිරීම සඳහා, පුහුණුව විධිමත් කිරීමේ ක්රියාදාමයේ එක් පියවරක් ලෙස පෙර විගමනික පාඨමාලාවේ පුහුණු දින ගණන මෙලෙස ඉහළ නංවා ඇතැයි එහි සඳහන් වේ.
පුහුණුව අවසානයේදී ජාතික වෘත්තීය නිපුණතා හෙවත් NVQ සහතිකය සමත් විය යුතු අතර, විදේශගතවීමේදී එම සහතිකයද අනිවාර්ය වන බව එම නිවේදනයේ දැක්වේ.
දිවයින පුරා පිහිටි එම කාර්යාංශයේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන, විගමනික මධ්‍යස්ථාන සහ පළාත් කාර්යාලවලින් පුහුණුව සඳහා දින ලබාගත හැකි බවද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.