හයිටි රාජ්ය වෙත බලවත් හානියක් සිදුකරමින් කඩා වැදුනු මැතිව් චණ්ඩ මාරුතය ක්රමයෙන් ඇමෙරිකාව දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ අංශ පවසයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ එම ජනතාවට මෙම චණ්ඩ මාරුතයෙන් ආරක්ෂා වීම සඳහා පැය 24ක පමණ කාලයක් ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට ප්රාන්තයේ සියලු ජනතාව මේ සඳහා සම්පූර්ණ සූදානමකින් සිටින බව තමා විශ්වාස නොකරන බවත්, පැය 24ක කාලය ඒ සඳහා ප්රමාණවත් නොවන බවත් පවසන ආණ්ඩුකාරවරයා, ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවද අවධාරණය කරයි.
අද දිනයේදී පැයට සැතපුම් 125ක පමණ සුළි සුළං සහිතව ගමන් කළ මැතිව් සුළි කුණාටුව ෆ්ලොරීඩා, ජෝර්ජියා, දකුණු කැරොලීනා සහ උතුරු කැරොලීනා වෙත ඇතුළු වනවිට 4 වැනි මට්ටමේ ප්රබල සුළි කුණාටුවක් ලෙස පවතිනු ඇති බවද කාලගුණ අංශ අනතුරු අඟවයි.
ඇමෙරිකානු කාලගුණ අංශ පවසන්නේ මෙම ප්රාන්ත අතරින් කිහිපයකට හෝ එකකට මුලින්ම චණ්ඩ මාරුතය ඇතුළු වනු ඇති බවයි.
මේ අතර, හයිටියට දැඩි බලපෑමක් ඇති කළ මැතිව් චණ්ඩ මාරුතය කැරීබියන් කලාපය වෙත දශකයක පමණ කාලයක් තුළ ඇතුළු වූ ප්රබලතම චණ්ඩ මාරුතය ලෙස සැලකෙයි.