දූෂිතයන්ට එරෙහිව දඬුවම් ලබාදීමට කටයුතු කරන්නැයි සඳහන් කරමින් මීළඟ මහමැතිවරණයට ජාතික හෙළ උරුමය ඉදිරිපත් වන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී ඇති වූ සිද්ධිය, ඇවන්ගාඩ් සහ රාඩා ආයතනවල ඇති වූ සිද්ධි මහමැතිවරණයේ ප්‍රධාන තේමා බවට පත්කර ගන්නා බව රණවක මහතා පවසා සිටියේය.
එම පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අධිකරණ ක්‍රියාවලියේ තියෙන දුර්වලතා නිසා සමහරු බේරිලා ඉන්නවා. තවත් සමහරු දේශපාලන කප්පම් සඳහා බේරිලා ඉන්නවා. අපේ අරගලය අපි ගෙනියනවා. පසුගිය කාලයේ යම් යම් මාධ්‍ය ප්‍රචාර වෙනුවෙන්, සල්ලි කුට්ටි වෙනුවෙන් අපරාධකරුවන්ට දඬුවම් දීම වළක්වලා ඊළඟ ඡන්දය ජයගන්න පුළුවන් කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදියි. ඊළඟ මැතිවරණය පැවැත්වෙන්නෙ මේ චෝදනා මතමයි. මහ බැංකුවේ ඇතිවෙච්ච සිදුවීමත්, ඇවන්ගාඩ් සිද්ධිය, රාඩා සිද්ධිය මීළඟ මහ මැතිවරණයේ ප්‍රධාන තේමා බවට ජාතික හෙළ උරුමය පත්කරනවා. ඒක සියලුදෙනාටම අපි කරන අනතුරු ඇඟවීමක්" යැයි පැවසීය.