මනාප ක්‍රමය අහෝසි කර, නව මැතිවරණ ක්‍රමයකට අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කැමැත්ත පළ වී තිබෙන නිසා එක්සත් ජාතික පක්ෂය පවසන ආකාරයට පවතින මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
විධායක බලතල කප්පාදු කිරීමට ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 138 දෙනාගේම සහාය ලබාදෙන බවත්, එහෙත් එම සහයෝගය ලබාදීමට නම් නව මැතිවරණ ක්‍රමයක් එකවර ගෙන ආ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය නොමැතිව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ කිසිවක් සිදුකළ නොහැකි බවයි.
මේ නිසා නව මැතිවරණ ක්‍රමය සඳහා කොට්ඨාස නීර්ණය කිරීම මාස තුනක් තුළ කළ හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙන නිසා එම කාලය ලබාගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා බහුතර පක්ෂ ප්‍රමාණයක කැමැත්ත පළ වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.