ඉදිරියේදී මැතිවරණයක් තිබෙන්න හැකියාවක් පවතිනවා මෙන්ම නොතිබෙන්නත් හැකියාවක් පවතින බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
මැතිවරණයෙන් කවුරු දිනුවද අවුරුදු දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු පැවැසීය.
අද පුවත් පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවීමට කටයුතු කරන බවයි.
" දැන් මැතිවරණයක් ගැන කතා කරනවා. මැතිවරණයක් ළඟදීම තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ලංකාවේ මැතිවරණ කියන ඒවා අඩුවක් නැතිව තියෙනවානේ. ඕනෑම වෙලාවක මැතිවරණයක් එන්න පුළුවන්කම තියෙනවා. එන මැතිවරණයේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. වෙනදා අපි මැතිවරණයකට ගියාම කාර්යාල කඩා ගත්තා, ගහ බැණ ගත්තා, ඇණ කොටා ගත්තා හැබැයි, ඉදිරි මැතිවරණ වලදී අපි එකතු වෙලා ගමනක් යන නිසා ප්‍රතිපත්ති විවේචනය කරන්න පමණයි අවශ්‍ය. අපි මේ දේ ක්‍රියාවෙන් ඔප්පු කළා ජාතික ආණ්ඩුවක් හදලා. පසුගිය මැතිවරණයේ ජයග්‍රහණය තනිපක්ෂයක තනි කණ්ඩායමක ජයග්‍රහණයක් නෙමෙයි. ඉදිරි මැතිවරණත් ඒ වගේමයි.
ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කරනවා එක්සත් ජාතික පක්ෂ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එක්ක ආණ්ඩුවක් හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු අපි උත්සහ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එක්ක ආණ්ඩුවක් හදන්න. කවුරු මැතිවරණය දිනුවත් අපි නැවතත් සියළු පක්ෂ එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදලා අවුරුදු 02 ක් තුළ මේ රට ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා."