තම පාක්ෂිකයන් පාලනය කරගනිමින් මෙවර මහ මැතිවරණය සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන ලෙස සියලුම පක්ෂවලින් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
ඊයේ (02දා) කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ. පාතාලය යොදා නොගනිමින්, දියුණු රටවල පවතින මැතිවරණ සංස්කෘතියක් මෙරටද ඇති කිරීමට සාධාරණ මැතිවරණයක් සඳහා සෑම පක්ෂයක්ම සූදානම් වන ලෙසද සෝභිත හිමියෝ පැවසූහ.
පසුගියදා බ්ලුමැන්ඩල් ප්‍ර‘දේශයේ සිදුවූ වෙඩි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත්, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම මිනීමරුවන් අල්ලාගන්නා ලෙසත් පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කරන බවද උන්වහන්සේ පැවසූහ.
මැතිවරණ කොමසාරිස්වරයා සතු සියලුම බලතල දැඩිව ක්‍රියාත්මක කරමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට දායක වන ලෙස තමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බවද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියේ පැවසූහ.
තවද රටේ ජනතාව, පාක්ෂිකයන් ලෙස සාමකාමීව තමන් කැමති පුද්ගලයෙකුට, පක්ෂයකට ඡන්දය ලබාදෙන්න යනුවෙන් තමන් සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බවද සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
පසුගිය කාලවකවානු වලදී පැවති මැතිවරණ පිළිබඳ සැලකීමේදී මෙවර මැතිවරණය පිළිබඳව සතුටු විය හැකි බවත්, නීති,ප්‍රතිපත්ති සකස් කරන පාර්ලිමේන්තුවට ඒ සඳහා සුදුසු පුද්ගලයන් පමණක් එවීමට පාක්ෂිකයන් ක්‍රියාකළ යුතු බවද සෝභිත හිමියෝ එහිදී අවධාරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙවර මැතිවරණය ප්රජාතන්ත්රවාදී රාමුවේ පත්වන බවට සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
නමුත් මෙම ප්රජාතන්ත්රවාදී රාමුව තුළ මැතිවරණයට මුහුණදීම බොහෝ දේශපාලඥයින්ට මෙන්ම ඇතැම් පාක්ෂිකයන්ටද නුහුරු බවක් පෙන්නුම් කරන බවද හෙතෙම පැවසීය.
කවර පක්ෂයකට ඡන්දය ලබාදුන්නද පාක්ෂිකයන් විසින් පාර්ලිමේන්තුවට සුදුසුම අපේක්ෂකයන් තෝරා එවීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද පැවසීය. එමෙන්ම සීමිත පිරිසකට බලය ලබාගැනීම සඳහා කරන මෙම අරගලය තුළ අහිංසක ජීවිත බිලිගැනීම නොකළ යුතු බවත්, ඒ සඳහා දායක නොවිය යුතු බවත් සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.