අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයන් 160කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන බව වාර්තා වේ.
මෙහිදී 70 ක් පමණ වන වැඩිම විදේශීය නිරීක්ෂකයන් පිරිසක් යුරෝපා සංගමය යටතේ නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට නියමිතය.
මෙම පිරිසේ පළමු කණ්ඩායම ලෙස 26 දෙනෙකු හෙට (21දා) සිට නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට සැලසුම් කර තිබෙන අතර, ශ්‍රී ලංකාව සඳහා වන යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයවීම සඳහා හෙට (21දා) සිට මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මෙරට තුළ ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත.
මීට අමතරව මැතිවරණය පිළිබඳව සහ ඡන්දය භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ ආයතන තුනකට යුරෝ මිලියන 1.2 ක මුදලක්ද පසුගිය 10 වැනිදා පිරිනමා ඇත.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් විදේශීය නිරීක්ෂකයන් 54 දෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, එම පිරිස් ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් මෙරටට පැමිණෙති. ඔවුන් අගෝස්තු මුල් සතියේ සිට නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට නියමිතය.
පැෆරල් සංවිධානය විසින් විදේශීය නිරීක්ෂකයන් 15 දෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, ඔවුහු ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් පැමිණෙති.
මීට අමතරව මැතිවරණ දෙපාර්තමේන්තුවද, විදේශීය නිරීක්ෂකයන් 20කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, එම පිරිස් පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් මෙරටට පැමිණීමට නියමිතය.