බස්නාහිර, දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය රජයේ ජනතාවාදී වැඩපිළිවෙළට ජනතාවගෙන් ලැබුණු වටිනා සහතිකයක් බවත්, මාතෘ භූමියට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගවලට එය සුවිශේෂී පණිවුඩයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පිළිබඳ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරයි.
රට දිනෙන් දින පෙරට ගෙන යමින් දිනාගත් නිදහස හා සංවර්ධනය තහවුරු කිරීමටත්, රටේ ස්වාධීනත්වයත්, ස්වෛරීභාවයත් සුරැකීමටත් රජය ගෙන ඇති පියවරයන්ට ජනතාවගේ විශ්වාසය මෙම විජයග්රහණයෙන් තහවුරු කර ඇති බවත් ජනාධිපතිවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
කිසිදු බලවේගයකට ජාතියේ අවශ්‍යතාවයන් පරාජය කළ නොහැකි බවත්, ජාත්‍යන්තරයේ බලපෑම්වලට ජනතාව ඉඩ නොතබන බවත් මෙම පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නැවතත් සන්නිවේදනය කරන බවද ජනාධිපතිවරයා පවසයි.
"අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්, ජාතියේ අවශ්‍යතාවයන් පරාජය කිරීමට ඉදිරියේදී කිසිවෙකුට ඉඩක් නොතබන බව අවධාරණය කරමි.
මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කරගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කරන අතර, රට වෙනුවෙන් පෙළ ගැසුණු සියලු ජනතාවට කෘතවේදීත්වය පළ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි." යැයි ජනාධිපතිවරයා පවසයි.