තමන්ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව රජයෙන් පවා ආරක්ෂාව ඉල්ලීමට සිදුවූයේ ඇතම් මාධ්‍යකරුවන් වැරදි හා විකෘති අන්දමට ප්රවෘත්ති පළකිරීම නිසා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06දා) එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති (මෙතෙක් ලියාපදිංචි නොකළ) දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසින් යාපනයේදී ආරම්භ කරන ලද 'කාලෙයි කදිර්' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේ, සෑමවිටම මාධ්‍යකරුවන් ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු සැපයීම තම වගකීම බව පිළිගත යුතු බවත්, උතුරු පළාතෙන් බුදුදහම සහ බුදුපිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බවට දකුණේ මාධ්‍ය වාර්තා කිරීම නිසා තමන්ට ජීවිතයට අවදානමක් සිදුවූවා මෙන්ම තමන්ට දකුණේ සිටි ඉතා වැදගත් මිතුරන් විශාල පිරිසක් අහිමි වීමටත් මෙම වැරදි මාධ්‍යකරණය ඉවහල් වූ බවත්ය.
මාධ්‍යකරුවන් මුදලටත්, ජනප්රියභාවයටත් වහල් වී සෙසු අයගේ ජීවිත වනසා දැමීම සදාචාරාත්මක නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.