එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 96 දෙනා අතරින් 76 දෙනෙකු නව ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන තත්ත්වයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ කරවා ගත හොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලය අහිමි වී යන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කළේය.
ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්, බහුතර බලය අහිමි කළහොත් ව්‍යවස්ථා ක්‍රියාවලිය අඩපණ කළ හැකි බවද කොළඹදී අද (17දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරු මෙම අදහස් පළ කළහ.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ උවමනාවන්ට හසුවී තිබෙන බවත්,ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් ඔවුන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවත් එහිදී ඔවුහු කියා සිටියහ.