හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළුන් සියලු දෙනා මැයි මාසයට පෙර ඉවත් කර ඒ සඳහා පොලිස් නිලධාරීන් යොදවන බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ලවා රාජපක්ෂ මහතා මරාදැමීමට සැලැස්වීමේ අදහසින් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ ශරීර ආරක්ෂාව බාරව සිටිනුයේ යුද හමුදාව විසින් බවත්, එම කටයුතු වයෝවෘද්ධ පොලිස් නිලධාරීන් පිරිසකට සිදුකළ නොහැකි බවත් වීරවංශ මහතා කියා සිටියේය.
රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් ඉවත්කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් බවද ඔහු කීය. බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (06දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිටින යුද හමුදා සෙබළුන් සියලු දෙනා මැයි මාසය වනවිට ඉවත් කරගැනීමේ නියෝග නිකුත් කර තිබෙනවා. අප පැහැදිලිව චෝදනා කරනවා මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න නායකයන් වන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට. නිසැක වශයෙන්ම මේ අය එල්.ටී.ටී.ඊ.ය ලවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධීපතිවරයා මරාදැමීමට සැලැස්වීමේ ක්‍රියාදාමයක් තමයි මේ ආරම්භ කර තියෙන්නේ.
දැන් යුද හමුදාවේ සියලු දෙනා අයින් කරලා ඒ වෙනුවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලීසියේ ඉන්න වයෝවෘද්ධ පොලිස් නිලධාරීන් තොගයක් ගෙනල්ලා ගොඩබාලා තියෙනවා. අපට දැනගන්න තියෙන විදියට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුත් ඒ අතර ඉන්නවා. මේ හදන්නේ ආරක්ෂාව සලසන්න නෙමෙයි. එතුමාගේ ජිවිතය අනාරක්ෂාව කරා ඉතා වේගයෙන් ගෙනයාමටයි" යනුවෙන්ද පවසා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, ඔහු වෙනුවෙන් යුද හමුදාවේ හා පොලීසියේ 206 දෙනෙකු ආරක්ෂාවට යොදවා ඇති බවත් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරට ඇද දමන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පැවසුවද හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවටද වුවමනාවක් ඇති බව සභා නායකවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබෙන විදේශ පුහුණුව ලද කොමාන්ඩෝ භටයන් අප්‍රේල් 10 වැනිදා වනවිට සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවට අත්දැකීම් හා පුහුණුවක් නොමැති පොලිස් භටයන් පත්කිරීමට තීරණය කර තිබීම අසාධාරණ ක්‍රියාවක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සඳහා එවැනි පියවරක් ගෙන නොමැති බවට තමා වගකීමෙන් පවසන බවයි. 2010 වර්ෂයේදී ජනාධිපතිවරණය නිමවී විනාඩි 10ක් ගතවූ විගස මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කර එතුමා 'ටාගට්' එකක් කළද වත්මන් ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ මහතාට එසේ නොකළේ ඒ මහතාගේ ආරක්ෂාව පිළිබඳ වත්මන් ආණ්ඩුවට වුවමනාවක් ඇති නිසා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.