මහින්ද රාජපක්ෂ නම් ප්‍රබල චරිතය වටා කැරපොතු පක්ෂ එල්ලී සිටින බවත්, මහින්ද රාජපක්ෂ චරිතය ප්‍රබල චරිතයක් වූයේ වසර 30ක කුරිරු යුද්ධයෙන් රට බේරාගත් සිය පක්ෂයේ හිටපු සභාපති නිසා බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (14දා) මහනුවරදී පැවැති වැඩසටහනකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පක්ෂය තළ පවතින මෙම අර්බුදය නිමාකළ හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතායි. පක්ෂය බෙදන්න හොඳ නැහැ, පක්ෂය කඩන්න හොඳ නැහැ, එක්ව පක්ෂය රැකගත යුතු යැයි එතුමා කියනවා නම් සියලු දෙනා යළි පක්ෂය හා එක්වනු දැකිය හැකියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අය ඉවත්ව ගියවිට එය පක්ෂයට ප්‍රබල බලපෑමක් වුණා. ඔවුන් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර ඔවුන් සමග ඉවත් වූ පිරිස්ද එම සභා බහුතරයක් නියෝජනය කළා. ඒ නිසා එවකට ඔවුන්ගේ ඉවත් වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල බලපෑමක් වුණා.
පසුගියදා ඉවත් කළ ආසන සංවිධායකවරුන් ඉවත කළේ ඔවුන් තුළ තිබුණු අදක්ෂතාව මත නොවෙයි. ඔවුන් අතිදක්ෂයි. නමුත් පක්ෂයට සතුරුකම් කළා.
මේ සතුරුකම් කිරීමට වගකිවයුත්තේ ඔවුන් නොව හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතායි. අප කිසිවෙකුගෙන් නොවිමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට සතුරුකම් කරනවා.
ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්කිරීමටයි. ඒ තුළින් ඔහු සිය පවුලට හා දරුවන්ට දිගුකාලීන වාසියක් ලැබෙතැයි අපේක්ෂා කරනවා. නමුත් එය රටට, පක්ෂයට හා පාක්ෂිකයාට සිදුකරන විශාල අපරාධයක් යැයි මම විශ්වාස කරනවා” යැයි පවසා සිටියේය.