හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කතා කර ඇතැම් කාර්යයන් පවරන බවත්, ඒවාද ඉටුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (16දා) පැවැති අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආනන්ද හාමුදුරුවෝ ජාතික නායකයෙක් වුණේ සටන් තුළින්. ප්‍රාර්ථනා ඉෂ්ට කරගැනීමට රැස්වීම් තිබිය යුත්තේ අපිත් සමගයි. වෙන අය සමග රැස්වීම් පැවැත්වීමෙන් ප්‍රාර්ථනා ඉටුවන්නේ නැහැ. වෙන අය පෝෂණය කිරීමට කටයුතු කරන්න එපා.
ඔබ වහන්සේට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. එය ඔපදැමිය යුතුයි. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාමයට මම ආදරෙයි. මොකද සටන්කාමී භික්ෂු චරිතයක් නිසා. එම කාර්යභාරය ඉටු කරන්න හෙද සංගමයේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න. අපේ සටනට එක්වන්න කියා මම ඉල්ලා සිටිනවා.
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගමු. මම සාකච්ඡාවලට අභයාරාමයට වුණත් එන්න සූදානම්. මිත්‍රකම් තියාගන්න. හිටපු ජනාධිපතිවරයා මගෙත් මිත්‍රයෙක්. මට දුරකථන ඇමතුම් ලබාදීලා එක එක වැඩ පවරනවා. ඒවත් මම කරලා දෙනවා." යනුවෙන් පැවසීය.
විධායක ජනාධිපති බලතල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
"වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම බලතල ඉවත් කර ගත්තා. බලතල පූජාකළා. අනුන්ගේ බලතල තමන්ට ගන්න බැලුවේ නැහැ. අද ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදීත් කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ සෙසු බලතල ද අහෝසි කිරීමට රජය සූදානම්. ඒ සඳහා නීති කෙටුම්පත් සකස් කරමින් සිටිනවා." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.