ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට යොමු වුවහොත් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබීමේ අවදානමක් මතුව ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් දෙගිඩියාවකට පත්ව ඇතැයි අදට වාර්තාවේ.
මේ නිසාම ඊයේ දිනයේ දී මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට පැමිණෙන බව ප්‍රකාශයට පත් කරන අවස්ථාවට පැමිණ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ.
හෙට (03දා) වන විට ශ්‍රී.ල.නි.ප අෙප්ක්ෂකයන් තෝරාගැනීමේ කාර්යය අවසන් වන හෙයින් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සිටින බව පෙන්වීම තමන්ට අවාසියක් බව බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. මේ නිසා ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා ගැනීම මූලික කොට සලකන බව පැවසේ. මේ අතර ඊයේ (01දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට බාරදී ඇතැයි වාර්තාවේ.
එහි ප්‍රධාන කරුණු කීපයක් දක්වා ඇති අතර, එහි මූලික කරුණක් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාව හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය සහ මැතිවරණයේ ප්රචාරක යාන්ත්රණයට නායකත්වය දීම යන අවස්ථා ලබාදිය යුතු බවයි. එසේම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම විය යුතුය, නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ තීරණ ගැනීමේ ක්‍රමවේදය තනි පුද්ගලයෙකුට යටත් නොවී ප්රජාතන්ත්රවාදී විය යුතුය යන්න එම ප්‍රධාන කරුණු වේ.
එම කරුණු සියල්ලටම මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය ඊයේ සවස්වනතුරු පළ නොවීය.
හෙට දිනය වනවිට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තාවෙයි. මේ නිසාම මහින්ද රාජපක්ෂට හිතවත් පාර්ශ්වය ජනාධිපති මෛත්‍රී ප්‍රකාශ නොකළ කරුණු දක්වමින් වැරදි චිත්‍රයක් මාධ්‍යයට සහ ජනතාවට ලබා දෙමින් සිටින බව මෛත්‍රී පාර්ශ්වය පවසයි. මහින්ද පාර්ශ්වය පවසන්නේ මෛත්‍රී පාර්ශවය එකඟ වූ ඇතැම් කරුණු වසන් කරමින් සිටින බවයි.
මැදමුලනට ගිය මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අද කළ විමසීමකදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 3 දෙනෙකු පමණක් මැදමුලනට ගොස් ඇති බවයි. එම අවස්ථාවට ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 කට වඩා සහභාගී වී නොමැති බවද ඒ මහතා පැවසීය.