හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කළ බවට චෝදනා ලැබ සිටි කොටි සාමාජිකයන් දෙදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා විසින් අදාළ චෝදනාවලින් අද (27දා) නිදොස් කර නිදහස් කරන ලදී.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා, සියලු චෝදනාවලින් විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කර නිදහස් කළේය.
චෝදනා ඔප්පු කොට නැතැයි තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කනගරත්නම් ආදිත්යන් ( ගිරිදරන්, ගිරි, කන්නන්, දාස්, අන්නා) සහ කන්දවනම් ගෝගුල්නාත් (ඉම්බන්, තම්බි, ගෝපාල් රත්නන්, දයාබරන්) නමැති කොටි සාමාජිකයින් දෙදෙනාය.
2009 ජනවාරි මස පළමු වැනිදාත්, නොවැම්බර් මස 11 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කළ බවට විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
ඉදිරිපත්වූ සාක්ෂි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් සියලු චෝදනාවලින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලදී.