ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මහින්ද රජපක්ෂ මහතා සහ ඔහු නියෝජනය කළ කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කරන ලෙසට ඉල්ලා සිටියද, ඔහු නැවත මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් පාවෙන ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර කරුණු 05 ක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ බවත්, එහිදී 100෴ ක් නොමැති වුවද සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත්, ඉදිරියේදීත් මෙවැනි සාකච්ඡා පැවැත්වීමට තීරණය වූ බවත් ඔහු පවසා සිටියේය.
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වූ බවත්, එහෙත් එවැනි තනතුරක් නොමැති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මධ්‍යම කාරක සභාවට යොමුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මීට අමතරව පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කරුණක් ඉදිරිපත් වූ අතර, නිලකාලය අවසන් වූ පසු පළාත් පාලන ආයතනවලට බලය අහිමි වන බැවින් කාලය අවසන් වූ ආයතනවල නිල කාලය මාස එකහමාරකට දීර්ඝ කළ බවට මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළ බවත් හෙතෙම සඳහන් කළේය.
මැයි දිනය දා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව කාටුන් වශයෙන් පත්‍රිකාවල සටහන් කර සිදුකළ නිග්‍රහයක් ගැන සාකච්ඡා කළ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවට සඳහන් කළේ බවත් අමාත්‍යරයා කියා සිටියේය.
මීට අමතරව දූෂණ වංචා සොයාබැලීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නිවැරදි කළ යුතු කරුණු ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වූ බවත්, එහිදී දේශපාලන අතපෙවීමකින් තොරව එම කටයුතු සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් ඔහු කීය. මෙහිදී නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වූ බවද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ එකතුව වී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත්, මේ අනුව 100෴ ක් නොවුවද සාකච්ඡා සාර්ථක බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වෙනවා සේම එකම වේදිකාවකට නැගීමටද හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දින 100 වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කර තිබෙන නිසා ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය බවට ජනතාව සඳහන් කළද දින සියය වැඩපිළිවෙළ යටතේ ලබාදුන් පොරොන්දු 100෴ක්ම අවසන් කරනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකරන බවයි.
ජීවිත අවදානම නොතකා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනා ආණ්ඩුවෙන් ඉවත්ව මැතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරණය ජයගැනීම නිසා අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ බවත්, මේ නිසා තම කණ්ඩායම ජනතාවට ලබාදුන් පොරොන්දු අනුව 20 වැනි සංශෝධනය ඇතුළු අනෙකුත් පොරොන්දු ඉෂ්ට කරනතුරු මැතිවරණයක් ගැන කතා නොකරන බවත් සඳහන් කළේය.