මහරගම නගරය තුළ ඇති වී තිබෙන මාර්ග තදබදය අවම කිරීමට සහ කොල්ලුපිටිය, පාර්ලිමේන්තුව අතර මාර්ගවල පවතින තදබදය අවම කිරීම සඳහා 13 වැනිදා සිට එම මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් රථවාහන අංශය එක්ව සකස් කළ සැලැස්මකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබඳව මහරගම නගරය තුළ මේ මස 10 වැනිදා උදෑසන වරුවේ අත්හදා බැලීමක් සිදු කිරීමට නියමිත අතර, මීට අමතරව කොළඹ දෙස සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගයේ අත්හදා බැලීමේ කටයුතු 11 වැනිදා උදෑසන සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මංතීරු 04 ක් ක්‍රියාත්මක වන හෝමාගම දෙස සිට කොළඹ දෙසට ගමන් කළ හැකි මහරගම නගරයේ මාර්ග කොටසෙන් එක් මංතීරුවක් කොළඹ සිට හෝමාගම දෙසට ගමන් කරන වාහනවලට ලබාදීමට නියමිතය.
මීට අමතරව මහරගමින් ගමනාන්තය අවසන් වන සියලුම මගී ප්‍රවාහන බස්රථ ආර්පිකෝ වෙළෙඳ සැල අසල ඇති තාවකාලික නැවතුම වෙත ඇතුළුකර නවතා තැබිය යුතු වන අතර, ගමන් ආරම්භයේදී පමණක් අදාළ ස්ථානයට බස් රථය රැගෙන යා යුතුය. කොල්ලුපිටිය සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන මාර්ගයේ ශ්‍රී ජයවර්ධනපුර කොටසේ බම්බලපිටිය හා නාරාහේන්පිට දෙසට ගමන් කරන වාහන කෙළින්ම බේස්ලයින් පාර දක්වා ගමන් කර, සේනානායක හංදියෙන් වමට හැරී කනත්ත වටරවුමින් නාරාහේන්පිට දෙසට ගොස් බෞද්ධාලෝක මාවතට ගමන් කළ හැකිය.
එසේම කොල්ලුපිටිය දෙස සිට පාර්ලිමේන්තුව දෙසට පැමිණෙන සාමාන්‍ය වාහනවලට බස් රථ ගමන් මාර්ගයට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අසලින් බෞද්ධාලෝක මාවතට පිවිස, කනත්ත වටරවුම දෙසට ගමන් කළ හැකි බවද පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව ඔබේසේකරපුර හා මැද වැලිකඩ පාරෙන් පරණ රාජගිරිය පාරට ඇතුළු වන වාහනවලට මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇත. නාවල පාරේ සිට වැලිකඩ පොලීසිය අසලින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන වාහන ශ්‍රී ජයවර්ධනපුර කොටසේදී සරණ පාරේ ගමන් කර රාජගිරිය පාරට ඇතුළු කර පාර්ලිමේන්තුව දෙසට ගමන් කළ යුතු වේ.
පාර්ලිමේන්තුව දෙස සිට කොළඹ දෙසට පරණ රාජගිරිය පාර ඔස්සේ ධාවනය වන සියලු බස් රථවලට වැලිකඩ හන්දියෙන් කොටා පාරට ඇතුළුවීම තහනම් වන අතර, එම බස් රථ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ඉදිරියට ගමන් කර ආයුර්වේද හන්දියෙන් අදාළ බස් මාර්ගවල පිවිස ගමන් කළ යුතු බව පොලීසිය සඳහන් කළේය. මෙසේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ධාවනය වන බස් රථවලින් මගින් බැස්සවීම සඳහා වැලිකඩ, නාවල පාර හන්දිය සහ රාජගිරිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ කොටසක් වෙන් කර තිබේ. මීට අමතරව එම මාර්ගයේ තවත් අතුරු මාර්ග කිහිපයකම ගමන් මාර්ගය වෙනස් කර තිබෙන අතර, මෙම සැලැස්ම උදේ 7.30 - 8.45 අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.