භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදීම ඒවායේ ලංසු ඉදිරිපත් කිරීම ඇතුළු සෙසු ප්‍රාථමික ගැනුම්කරුවන්ට නොලැබෙන සියලු වැදගත් තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට මහ බැංකුව තුළින්ම ලැබීම හේතුවෙන් 2015/2016 වසර තුළ රුපියල් කෝටි 1100ක ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබීමට හැකිවූ බව එම සමාගමේ ප්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු මහතා අද (06දා) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන්ගෙන් අන් ප්‍රාථමික ගැනුම්කරුවන්ට නොලැබෙන සියලු වැදගත් තොරතුරු අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු බවද නුවන් සල්ගාදු මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් නියා සිටියේය.
බැඳුම්කර කොමිසමට සහාය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එම කරුණු හෙළි කළේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නුවන් සල්ගාදු මහතා, තමන් කොමිසම හමුවේ ප්‍රකාශ කරන්නේ සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණු බව පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදීම එහි ලංසු තබන අකාරය, ‘බිඩ් වොලියුම්’, ඵලදායිතා අනුපාතය, ආදී අන් ප්‍රාථමික ගැනුම්කරුවන්ට නොලැබෙන වෙළෙඳ පොළ සංවේදී සියලු වැදගත් තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට මහ බැංකුව තුළින්ම ලැබුණු බවත්, ඇලෝසියස් මහතා තමන්ට ඒවා දැනුම් දුන් බවත් නුවන් සල්ගාදු මහතා වැඩිදුරටත් පැවසීය.