මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය බොහෝදුරට 2017 ජනවාරි මස පළමු පාර්ලිමේන්තු සතියේදී පවත්වනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග 'අද' ට තහවුරු කළේය.
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ කෝප් වාර්තාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අද (28දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුවේ සම්පූර්ණ විමර්ශනය පෙරේදා (26දා) රාත්රිය වනවිට අවසන් කිරීමට කෝප් කමිටුවට හැකියාව ලැබී ඇති අතර, පාර්ශ්ව කිහිපයක නිර්දේශ ඇතුළත් සමස්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් පෙරේදා (26දා) රැස්වූ කෝප් කමිටුව විසින් බැඳුම්කර සිදුවීමට අදාළ නිර්දේශ සියල්ල ඒකමතිකව සම්මත වී ඇත. එසේ වුවද අද (28දා) දිනයේදී බැඳුම්කර සිදුවීමට අදාළ කෝප් වාර්තාව සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට එහි පිටපත් ලබාදීමට අද (28දා) හැකියාවක් නොමැති බවද වාර්තාවේ.
ඊයේ (27දා) රාත්රිය වනතෙක් මේ පිළිබඳව කෝප් අවසන් වාර්තාව කෝප් ලේකම් කාර්යාලය විසින් සකසා ඇති අතර ඉදිරියේදී මන්ත්රීවරුන්ට එහි පිටපත් ලබාදීමට සැලසුම් කර ඇතැයිද වාර්තාවේ.
අද (28දා) පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසුව නැවත නොවැම්බර් 10 පාර්ලිමේන්තුව පැවැත්වුවද එදින අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
නොවැම්බර් 10 සිට දෙසැම්බර් 10 වැනිදා තෙක් මාසයක කාලයක් අයවැය විවාදය පැවැත්වීමට සැලසුම්කර ඇති අතර ඒ අතර කාලය තුළදී බැඳුම්කර පිළිබඳ විවාදය පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවද පාර්ලිමේන්තු නියෝජිතයෙක් ප්රකාශ කළේය.
එමෙන්ම දෙසැම්බර් මස 10 වැනිදා අයවැය අවසන්වීමෙන් පසුව 2017 ජනවාරි දක්වා පාර්ලිමේන්තුව කල්තබන අතර ඒ අනුව මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ කෝප් වාර්තාවේ විවාදය 2017 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ යැයි පැවසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා ඊයේ (27දා) පස්වරුවේ මෙරටින් පිටව ගොස් ඇතැයිද වාර්තා වේ.