මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනිද්දා (29දා) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට ලැබීමට නියමිත බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
වාර්තාව අනිද්දා කමිටුවට ලැබුණහොත් එම වාර්තාව පිළිබඳව එදිනට සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තුවට ලබාදීම සඳහා එදිනම වාර්තාවක් සකස් කළ යුතු බව කමිටු සාමාජිකයන් සඳහන් කළහොත් අදාළ වාර්තාව සකස් කරන බවත් ඔහු පවසා සිටියේය.
එසේ නොමැතිව අදාළ වාර්තාවට තව තවත් කරුණු ඇතුළත් විය යුතු බවට කමිටු සාමාජිකයන් සඳහන් කළහොත් වාර්තාව එදිනට සකස් කළ නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
29 වැනිදා වාර්තාව සකස් කළහොත් ආසන්න දිනයේදීම පාර්ලිමේන්තුවට වාර්තාව ලබාදෙන බවත්, මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරනවාද, නැද්ද යන්න මෙම වාර්තාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු කාර්යයක් බවද හෙතෙම පවසා සිටියේය.